ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පූර්ණ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
1986 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඒ මහතා, 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙසත්, 2020 නොවැම්බර් 27 දින සිට ස්ථිර පොලිස්පතිවරයා ලෙසත් සේවය කළේය. 2023 නොවැම්බර් 23 දින විශ්‍රාම යන තෙක් දීර්ඝ කාලයක් පොලිස්පති ධුරය හොබවමින් ඔහු රටට සිදුකළ මෙහෙය සුවිශේෂී වේ.
ගෙවුණු සිකුරාදා දින සිදුවූ වෙඩි වැදීමකින් ඒ මහතා ජීවිතක්ෂයට පත්විය. මෙය සියදිවි හානි කරගැනීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කරන අතර, ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිකුත් කර තිබූ ගිනි අවිය ඒ සඳහා භාවිත කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කොළඹ නැගෙනහිර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා දේහයේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි. පරීක්ෂණවල කොටසක් ලෙස හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.














