ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ (DR Congo) නැගෙනහිර ප්‍රදේශයේ ඉබෝලා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන ‘රුවන්පරා’ (Rwampara) මහා රෝහලට කඩා වැදුණු කුපිත වූ පිරිසක් එහි හදිසි ඉබෝලා හුදෙකලා ප්‍රතිකාර කුටි (Isolation Wards) ගිනිබත් කර තිබේ. ඉබෝලා වෛරසය වැළඳීමෙන් මියගිය බවට සැක කෙරෙන දේශීය ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයෙකුගේ දේහය, අවසන් කටයුතු සඳහා ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීම රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතු වී ඇත.
මියගිය පුද්ගලයාගේ ශරීරයෙන් වෛරසය අනෙක් අයට ශීඝ්‍රයෙන් බෝවීමේ දැඩි අවදානමක් පවතින බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) උපදෙස් මත ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ දේහය භූමදානය කිරීමට බලධාරීන් උත්සාහ කර තිබේ. එහෙත් මියගිය ක්‍රීඩකයාගේ මව ප්‍රකාශ කර ඇත්තේ තම පුතා මියගියේ ටයිෆොයිඩ් උණ වැළඳීමෙන් මිස ඉබෝලා වැළඳීමෙන් නොවන බවයි. මෙම තත්ත්වය හමුවේ රෝහලට එකතු වූ සිය ගණනක පිරිසක් රෝහල් ගොඩනැගිලිවලට ගල් ප්‍රහාර එල්ල කරමින් හදිසි ප්‍රතිකාර සඳහා සකස් කර තිබූ කූඩාරම් (Tents) දෙකක් සම්පූර්ණයෙන්ම ගිනිබත් කර ඇති අතර, එහිදී තවත් භූමදානය කිරීමට සූදානම් කර තිබූ දේහයක් ද ගින්නට හසුවී තිබේ.
පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් වහාම හමුදා ආරක්ෂාව කැඳවීමට ද පියවර ගෙන ඇත. වාර්තා වන අන්දමට මෙම කලබලකාරී අවස්ථාවේදී ප්‍රතිකාර ලබමින් සිටි ඉබෝලා රෝගීන් 6 දෙනෙකු පලාගොස් ඇති බවට සැක කෙරුණ ද, වෛද්‍ය පුණ්‍යායතන පවසන්නේ ඔවුන් සියලු දෙනා මේ වන විට නැවතත් රෝහල භාරයේ ප්‍රතිකාර ලබන බවයි.
දැනට කොංගෝ රාජ්‍යය තුළ ඉබෝලා ආසාදිත මරණ සංඛ්‍යාව 150 ඉක්මවා ගොස් ඇති අතර සැකකටයුතු රෝගීන් 600කට අධික පිරිසක් වාර්තා වී තිබේ. මෙම වෛරස් ව්‍යාප්තිය ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නැමැති දුර්ලභ ඉබෝලා ප්‍රභේදයක් නිසා සිදුවන්නක් වන අතර, ඒ සඳහා මෙතෙක් සාර්ථක එන්නතක් සොයාගෙන නොමැති වීම විශේෂත්වයකි. වෛරස් අවදානම හේතුවෙන් අසල්වැසි උගන්ඩාව ද කොංගෝ දේශසීමා හරහා සිදුවන සියලුම පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.














