මත්ද්‍රව්‍ය චෝදනාවක් මත කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින තම සහෝදරයා බැලීම සඳහා යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු, කෑම පැකට් එකක සඟවා මත්ද්‍රව්‍ය රැගෙන යාම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, මිල්ලනිය, බටගොඩ මාර්ගයේ ක්‍රියාත්මක වූ පොලිස් මාර්ග බාධකයකදී අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුවන් මාර්ග බාධකයට මඳක් ඈතින් යතුරුපැදිය නවතා සැකකටයුතු ලෙස හැසිරීම නිසා පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී ඔවුන් රැගෙන ගිය කෑම පැකට් දෙකේ චිලි පේස්ට් (Chilli Paste) අඩංගු පොලිතින් කවරය තුළ සඟවා තිබී මිලිග්‍රෑම් 12,400කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
සැකකරුවන් සතු යතුරුපැදිය සහ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති අතර, මීට පෙරද ඔවුන්ට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු පවතින බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරීන් විසින් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.
















