රටක් පාලනය කිරීමේදී තිරසර ලෙස ණය ලබාගත හැකිනම් එය ආර්ථිකයක නිවැරදි හැසිරීමට ඉවහල් වන බවත්, ණය ගැනීම වරදක් ලෙස සමාජගත වී ඇත්තේ පෙර රජයන් එම ණය අවභාවිත කිරීම නිසා බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව, ක්‍රමවත් ලෙස ණය කළමනාකරණය කරමින් ඉදිරියට යන්නේ නම් එය ආර්ථිකයට හිතකර බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රජය දැනටමත් ණය තිරසරභාවය අත්පත් කරගෙන ඇති අතර 2032 ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සැලැස්ම මෙම 2026 වසර වන විට සාක්ෂාත් කර ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත විදේශ මූල්‍ය පහසුකම් පිළිබඳව ද කරුණු අනාවරණය කළ අමාත්‍යවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) එළඹෙන ජූනි 27 වන දින වන විට ඩොලර් මිලියන 700 ක මුදලක් අපේක්ෂා කරන බවත්, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) මේ වසර තුළ ඩොලර් මිලියන 480 ක් ලබා ගැනීමට නියමිත බවත් කියා සිටියේය. මීට අමතරව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක් සහ තවත් අනුබද්ධ ආයතනයකින් ඩොලර් මිලියන 50 ක් ලැබීමට නියමිත බැවින් මූල්‍ය කළමනාකරණයේ ගැටලුවක් මතු නොවන බව ඔහු අවධාරණය කළේය.
2022 වසරේ පැවති ආර්ථික බිඳ වැටීමට හේතු වූයේ ඩොලරයේ අගය පාලනය කර ගැනීමට නොහැකි වීම පමණක් නොව, එවකට රජය ගත් වැරදි ප්‍රතිපත්තිමය තීන්දු සහ ආනයන සීමා කිරීම වැනි කරුණු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, වර්තමානයේ විදේශ විනිමය අනුපාතය ඉහළ යාම නිසා ආනයනික භාණ්ඩවල මිල කෙරෙහි යම් තෙරපුමක් ඇති වුවද, උද්ධමනය පාලනය කිරීමේ රාමුව තුළ රජය සාර්ථකව කටයුතු කරමින් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් කියා සිටියේය.














