දකුණු අප්‍රිකාවේ බටහිර කේප් පළාතේ වෙරළබඩ නගර කිහිපයක මතුව ඇති විදෙස් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හේතුවෙන් මලාවි සහ මොසැම්බික් ජාතික සංක්‍රමණිකයන් විශාල පිරිසක් අවතැන් වී සිටින බව වාර්තා වේ.
මොසැම්බික් ජාතික සංක්‍රමණිකයෙකු වන ලාඩෝ අමිඩෝ ප්‍රකාශ කළේ, පසුගිය 31 වැනි දින පිරිසක් ඔහුගේ නිවසට පැමිණ විදේශිකයන් එම ප්‍රදේශයෙන් පිටව යා යුතු බව පවසමින් ඔහුගේ සියලු බඩු බාහිරාදිය රැගෙන ගිය බවයි. එම ප්‍රහාර හේතුවෙන් අමිඩෝ දින දෙකක් කඳුකර ප්‍රදේශයක සැඟවී සිට පසුව ක්ලයින්මන්ඩ් (Kleinmond) නගරයේ නගර ශාලාවක රැකවරණය ලබා තිබේ. මොසැම්බික් රජය පවසා ඇත්තේ පසුගිය සති අන්තයේ මෝසෙල් බේ (Mossel Bay) නගරයේ සිදුවූ විදෙස් විරෝධී ප්‍රහාරවලින් තම රටේ පුරවැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ක්ලයින්මන්ඩ් නගර ශාලාවේ පමණක් සංක්‍රමණිකයන් 100ක පමණ පිරිසක් මේ වන විට රැඳී සිටින අතර, ඔවුන්ගෙන් සමහරෙකු තම රජයන් විසින් සංවිධානය කරනු ලබන ස්වේච්ඡා මව් රටට යැවීමේ වැඩසටහන් වෙත සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව සඳහන් වේ.
















