පරිසර අමාත්‍යාංශයේ ස්වාභාවික සම්පත් කළමනාකරණ අංශය විසින් සංවිධානය කරන ලද දේශගුණික විපර්යාස සහ භූමිය සම්බන්ධ ආපදා කළමනාකරණය පිළිබඳ විද්වත් කතිකාව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැත්විණි. මෙම වැඩසටහන රාජ්‍ය නිලධාරීන් සහ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රීතිකා මාධවී ජයකොඩි මහත්මිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ඇතුළු විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ. පවතින ස්වභාවික අර්බුදකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
ජගත් පරිසර දිනයට සමගාමීව පසුගිය මැයි 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිසර සතිය තුළ පරිසර අමාත්‍යාංශය මගින් වැඩසටහන් රැසක් සැලසුම් කර ඇත:
ජූනි 2 වන දින දියවන්නා ඔය රැක ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ට්‍රැක්ටර් රථ ලබා දීම සිදු කෙරේ. එදිනම හම්බන්තොට දිස්ත්‍රික් ජල සම්පත් මණ්ඩල කාර්යාලය විවෘත කිරීම සහ රිදියගම සෆාරි උද්‍යානයේදී සමනල උයන විවෘත කිරීම සිදු වේ.
ජූනි 3 වන දින වීරකැටිය කුඩා බුබුළ දිය උල්පත නිරීක්ෂණය සහ ප්‍රදේශයේ ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ වාර්තා බෙදා දීම සිදු කිරීමට නියමිතය.
ජූනි 4 වන දින පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී ඖෂධීය පැළ ප්‍රදර්ශනයක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
‘දලුලන්න ඉඩදෙන්න’ සහ ‘වනස්පති’ ජාතික වැඩසටහන් යටතේ මේ වන විට හෙක්ටයාර හැටතුන්දහසකට වැඩි වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර, ජගත් පරිසර දිනයට සමගාමීව තවත් වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කිරීමට නියමිතය. ජාතික පරිසර සතිය තුළ රුක් රෝපණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා තිරසර පරිසරයක් උදෙසා දායක වන ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















