උතුරේ පිහිටි ඩෙල්ෆ්, නයනතිව් සහ අනලදන්තිව් යන දූපත් සඳහා මෙතෙක් පැවැති අධික පිරිවැයක් සහිත, පරිසරයට හානිකර ඩීසල් ජනක යන්ත්‍ර මඟින් විදුලිය නිපදවීමේ ක්‍රමය වෙනුවට සූර්ය සහ සුළං බලශක්තිය භාවිතයෙන් විදුලිය සැපයීමේ සුවිශේෂී දෙමුහුන් (Hybrid) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෑතකදී මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කළ අතර, එහි වැඩකටයුතු කඩිනම් කරන ලෙසටයි නිලධාරීන්ට උපදෙස් දුන්නේ. මෙමඟින් අදාළ දූපත් 3හි පදිංචි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වන අතරම, ධීවර කර්මාන්තය, සෞඛ්‍ය සහ අධ්‍යාපන යන පොදු සේවාවන් රැසක් ද නංවාලීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 1.7 ක (1.7 MW) සූර්ය බලශක්ති බලාගාරයක්, කිලෝවොට් 750 ක (750 kW) සුළං බලශක්ති බලාගාරයක් සහ මෙගාවොට් පැය 2.4 ක (2.4 MWh) බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීමට නියමිතයි. එමෙන්ම අඛණ්ඩ සහ ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කිරීම සඳහා උසස් බලශක්ති කළමනාකරණ පද්ධතියක් ද (EMS) මෙයට ඇතුළත් වෙනවා. මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සඳහා බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුදුසු බලශක්ති අධිකාරිය සහ යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
















