හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මීට වසර තුනකට පෙර යුද හමුදාවෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේදී තමන් භාරයේ තිබූ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන, ගිනි අවි, වාහන සහ නිල වාර්තා ඇතුළු සියලුම රාජකාරි භාණ්ඩ යුද හමුදාපතිවරයා වෙත නිසි පරිදි භාර දී ඇති බව ඔහුගේ නීතීඥ සංජීව වීරවික්‍රම මහතා පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් යුද හමුදාපතිවරයා කැඳවා ඒ බව විමසා බැලිය හැකි බවත්, දැනට සිදු කෙරෙන කිසිදු විමර්ශනයකට අදාළ වන කිසිදු උපකරණයක් සලේ මහතා සන්තකයේ නොමැති බවත් නීතිඥවරයා සහතික කරනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වන විට සුරේෂ් සලේ මහතා සතුව ඇත්තේ විමර්ශනවලට අදාළ කාල සීමාවෙන් පසුව, එනම් 2024 වසරේදී මිලදී ගන්නා ලද HP වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ iPhone 12 වර්ගයේ ජංගම දුරකතනයක් පමණක් බවයි. ඒවායේ ඇත්තේ බිරිඳ සහ දියණියගේ ඡායාරූප වැනි පෞද්ගලික දත්ත පමණක් බැවින්, පෞද්ගලිකත්වය සුරැකීමේ අයිතිය මත ඒවායේ මුරපද (Passwords) CID එකට ලබා නොදීමට තීරණය කර තිබෙනවා. කිසිදු අපරාධයකට සම්බන්ධ බව තහවුරු නොකර පුද්ගලයෙකුගේ පවුලේ තොරතුරු ලබා ගැනීමට CIDයට නීතිමය අයිතියක් නැති බවත්, එවැනි දත්ත ලබා ගැනීමට නම් මහේස්ත්‍රාත් අවසරයක් තිබිය යුතු බවත් පෙන්වා දෙන නීතිඥවරයා, මුරපද නොමැතිව වුවද විමර්ශන කිරීමට තාක්ෂණික පහසුකම් ඇතත් තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට හානි වන කිසිදු තොරතුරක් ලබා නොදෙන බව අවධාරණය කළා.
















