දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් නිවාස වෙනුවෙන් රජය ලබා දුන් වන්දි මුදල් ආධාරයෙන් අලුතින් ඉදි කරන ලද නිවසක අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ සහභාගී විය. අනුරාධපුර, ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවස මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
නව නිවසට ගෙවැදීමේ උත්සවය සමඟින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට ද එක්වූ ජනාධිපතිවරයා, එහි පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් සිය අලුත් අවුරුදු සුබපැතුම් එක්කරනු ලැබීය. ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාව යළි නගාසිටුවීමේ රජයේ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය විදහා දක්වමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කේ.ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.














