මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්ති කටයුතු සඳහා සහභාගි වීම පිණිස මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා, මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගනිමින් උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය. අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියේය.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.
















