ඉරාන සහ ශ්‍රී ලංකාව අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නව සහයෝගිතා අවස්ථාවන් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ ඉරාන කෘෂිකර්ම අමාත්‍ය ගොලාම්රේසා නූරි (Gholamreza Nouri) මහත්වරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී පසුගියදා (26) පවත්වා තිබේ.
මොන්ගෝලියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ (UNCCD) 17 වැනි පාර්ශ්වකරුවන්ගේ මහා සම්මේලනයට (COP17) සමඟාමීව මෙම හමුව සිදුවිය. මෙහිදී දෙරට අතර පවතින වසර 64ක දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳ අවධානය යොමු කළ ඉරාන අමාත්‍යවරයා, මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වයන්හිදී ශ්‍රී ලංකාව ලබාදුන් මානුෂීය සහයෝගයට ස්තූතිය පළ කළේය.
කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, තේ නිෂ්පාදනය සහ ධීවර ක්ෂේත්‍රය නංවාලීම පිළිබඳ සාකච්ඡා කළ දෙපාර්ශ්වය, විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් කෘෂිකාර්මික තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කළහ. තවද, භූමි හායනය සහ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී රටවල් අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
















