නීතිය හමුවේ සෑම අයෙක්ම අද එක හා සමාන බවත්, නීතිය සමාන නොවුණා නම් අද අහන්න ලැබෙන සමහර ප්රවෘත්ති ජනතාව ජීවිතේට අසන්නට නොහැකි වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනතාව නීතිය සමානව ක්රියාත්මක වන රටක් අපේක්ෂා කළා නම්, අද අපි එම රට ගොඩනඟා තිබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
‘අපේ ආණ්ඩුව වසර දෙකයි, රටට සුබයි’ මැයෙන් සංවිධානය කරන ජනරැලි මාලාවේ ඉබ්බාගමුව හා නිකවැරටිය රැලිවලදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉස්සර ප්රාදේශීය සභා සභාපතිවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා වූ අයට චෝදනා නොමැතිව සිටීමට ‘ලයිසන් එකක්’ තිබූ බවත්, අද තරාතිරම නොබලා ඕනෑම වංචනිකයකුට නීතිය ක්රියාත්මක වන බවත්ය. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප අහෝසි කිරීම, අමාත්ය ධුර සංඛ්යාව 25කට සීමා කිරීම සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ඇතුළු පසුගිය වසර දෙක තුළ ගෙන ගිය ප්රතිසංස්කරණ මෙහිදී ඔහු පෙන්වා දුන්නේය. එසේම, ජාතිවාදය අවසන් කර සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වන රටක් නිර්මාණය කර ඇති බවත්, ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ශක්තිමත් විදේශ ප්රතිපත්තියක් අනුගමනය කරන බවත්, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද ජනතාවට දැවැන්ත සහනාධාර ලබාදීමට රජය කටයුතු කළ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.













