වර්තමාන රජය වැඩි මිලට පොහොර ආනයනය කිරීම හේතුවෙන් රටට වාර්ෂිකව රුපියල් මිලියන 80,000ක දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදුවන බව ජාතික ගොවිජන ඒකමුතුවේ අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මැදපෙරදිගින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 800ක මිලකට ආනයනය කරන බව පැවසුවද, එම ප්‍රමිතියටම සමාන පොහොර කසක්ස්තානයෙන් ඉතා අඩු මිලකට ලබාගත හැකි බවයි. කසක්ස්තානයෙන් පොහොර මෙට්‍රික් ටොන් එකක් කොළඹ වරායට ගොඩබෑම දක්වා වන පිරිවැය ඇමෙරිකානු ඩොලර් 290ක් වැනි අඩු මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව වාර්ෂිකව යූරියා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් පමණ ආනයනය කරන අතර, මෙලෙස අඩු මිලට පොහොර ලබාගත හැකි අවස්ථා මඟහැර මැදපෙරදිගින් වැඩි මිලට පොහොර මිලදී ගැනීම හරහා මෙරටට රුපියල් මිලියන 80,000ක මුදලක් අහිමි වන බවට ඔහු චෝදනා කරයි. 2026 මැයි 4 වන දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
















