27 April 2024
#දේශීය

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා මහ පෙරහැර අගෝස්තු 01 වනදා

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා මහ පෙරහැර 2023 අගෝස්තු 01 වන දින පැවැත්වීමට තීරණය කල බව අනුරාධපුර දළදා පෙරහැර කමිටුව පවසයි.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතාගේ සහභාගිත්වයෙන් මහාවිහාර සන්නිපාත ශාලාවේ දී දළදා පෙරහැර කමිටුව රැස්විය.

චාරිත්‍රානුකූල පෙරහැර එක් දිනක් පමණක් ඇතුළුව සංචාරය කරනු ලබන අතර සියලු සංස්කෘතිකාංග වලින් සමන්විතව මෙවරත් ශ්‍රී දළදා පෙරහැර පැවැත්වේ. චාරිත්‍රානුකූලව දළදා කරඬුව ජය ශ්‍රී මහා බෝ සමිදු ඉදිරිපිටින් හස්තිරාජයා පිට තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර ආරම්භ වන අතර, පෙත් මඟ ඔස්සේ ගමන් කර පුරාණ ඓතිහාසික දළදා මාලිගාව වෙත ගමන් කර එහි වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව අභයගිරිය චෛත්‍යය දක්වා ගමන් කර එහි දී පෙරහර අවසන් කරනු ලබයි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම දළදා පෙරහැර උතුරු මැද පළාත් සභාව මගින් අදාල අනිකුත් රාජ්‍ය ආයතන වල දායකත්වයෙන් සංවිධානය කරනු ලබයි. උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ප්‍රධාන අමාත්‍යාංශය හා සංස්කෘතික දෙපාර්තමේන්තුව සියලු කටයුතු සංවිධානය කර මෙහෙයවයි.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් චින්තක රණසිංහ මහතා ඇතුළු පළාත් සභා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *