අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ රජුන් අබියස පැවැත්වෙන වාර්ෂික ජාතික පිච්ච මල් පූජා මහෝත්සවය ජූලි මස 25 සහ 26 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අදහසකට අනුව 1990 වසරේදී ආරම්භ වූ මෙම පින්කම මෙවර පැවැත්වෙන්නේ 36 වැනි වරටයි.
ජූලි 25 වැනිදා පස්වරු 1.00ට ථූපාරාමය අසලින් ආරම්භ වන පෙරහැර උඩමළුවට සහ රුවන්වැලි සෑයට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව වන්දනා කටයුතු ආරම්භ වන අතර, 26 වැනිදා පෙපරවුවේ රුවන්වැලි සෑයට කිරි ආහාර සහ පලතුරු පූජාව පැවැත්වේ. පින්කම සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පහසුව උදෙසා ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන සේවා සංවිධානය කර ඇත. පූජාව සඳහා රැගෙන එන පිච්ච මල් පර නොවී තබාගැනීමට අමු කෙසෙල් පතුරුවලින් තැනූ භාජනවල තැන්පත් කරන ලෙසත්, සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත් සංවිධායක මණ්ඩලය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
















