මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූලව පවත්වා අවසන් කළ බව සඳහන් සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා තිබේ.
මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම සංදේශය පිළිගැන්වීම සිදු වූ අතර, එහිදී පෙරහරට දායක වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන ප්‍රදානය කිරීමද සිදු විය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ රාජ්‍යත්වයත් දළදා වහන්සේත් අතර ඇති බැඳීම විනාශ කරමින් කිසිදු දිනක දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවා පැන නොනැඟිය යුතු බවයි. එසේම, ජාතියක් ලෙස මුහුණ දී ඇති අහිතකර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා නව සමාජ වටිනාකම් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.














