අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්/පළමු ලේකම් රෝෂිණී තොම්සන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වී ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයකදී අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සහාය ලබා දීමට ඇති කරගත් එකඟතාවකට අනුව මෙම පියවර ගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සකස් කරන ලද කෙටුම්පත් යෝජනාවලිය මේ වන විට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මහා සංඝරත්නය සහ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර මෙම ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. රුපියල් බිලියන 7.7ක ඇස්තමේන්තුගත මුදලක් වැය වන මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ මූල්‍යමය දායකත්වය ඉන්දීය රජය විසින් ලබා දෙනු ලබන අතර, මේ වසර අවසන් වීමට පෙර එය ආරම්භ කිරීමට අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පූජා නගරයේ පෞරාණිකත්වය හා ආගමික පසුබිම සුරකිමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, කැළි කසළ විධිමත්ව බැහැර කිරීම, සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීම සහ ගරා වැටී ඇති ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම වැනි පුළුල් සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
















