ඖෂධ මිල අඩුවී ඇති පසුබිමක් තුළ, විශාල වශයෙන් ඖෂධ ගෙන්වීමත් සමඟ පවතින ගබඩා පහසුකම් මදකම හේතුවෙන් සෑම පළාතකම රජයේ ඖෂධ ගබඩා පිහිටුවීම ආරම්භ කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කර තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කරන ලද නව නොමේරු ළදරු ඒකකය විවෘත කිරීම සහ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අංගසම්පූර්ණ හා නවීන පහසුකම්වලින් යුත් නව නොමේරු ළදරු ඒකකයක් පිහිටුවීම හරහා ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවන් සහ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නංවාලීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
ඉදිරියේදී මෙම ප්‍රාදේශීය ඖෂධ ගබඩා ජාලය ක්‍රියාත්මක වීමත් සමඟ දිවයින පුරා රෝහල් වෙත ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙේ.
















