ඇමරිකාවේ ඇපල් (Apple) සමාගම සිය පාරිභෝගිකයන් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දි මුදලක් ගෙවීමට එකඟ වී තිබේ. ඒ iPhone දුරකථන අලෙවි කිරීමේදී ඒවා සතු කෘතිම බුද්ධි (AI) විශේෂාංග සහ හැකියාවන් පිළිබඳව පාරිභෝගිකයන් නොමඟ යවන සුළු ව්‍යාජ ප්‍රචාරණයක් සිදුකර ඇති බවට එල්ල වූ චෝදනාවක් මත කැලිෆෝනියා අධිකරණය හමුවේ පැනවුණු නඩුවක් සමථයකට පත්කර ගැනීම වෙනුවෙනි.
ඇපල් සමාගම මෙහිදී වරද පිළිගෙන නොමැති වුවද, නඩුව අවසන් කිරීම සඳහා 2024 සහ 2025 යන වසරවලදී iPhone 15 සහ iPhone 16 යන දුරකථන මිලදී ගත් පාරිභෝගිකයන්ට මෙම වන්දි මුදල ගෙවීමට එකඟ වී ඇත. මෙම වන්දි ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ ඇමරිකානු පාරිභෝගිකයන් පමණක් වන අතර, එක් අයෙකුට ලැබිය හැකි උපරිම වන්දි මුදල ඩොලර් 95ක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














