අරලගංවිල, ඇල්ලේවැව ප්රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු ඊයේ (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ ඇල්ලේවැව ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු සහ ජාඇල ප්රදේශයේ පදිංචි ඔහුගේ පස් හැවිරිදි ඥාති දරුවෙකි. ඔවුන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වනඅලිගෙන් ආරක්ෂා වීම සඳහා නිවස වටා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.
විදුලි සැර වැදුණු දෙදෙනා බේරාගැනීමට උත්සාහ කළ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද විදුලි සැර වැදී තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















