පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ඒ වෙනුවට ජාතික උරුම කාර්යාංශයක් පිහිටුවීමට ආණ්ඩුව නීති කෙටුම්පත් සකස් කරමින් සිටින බවත්, එය සිදුවුවහොත් මෙරට බෞද්ධ සිද්ධස්ථාන සහ උරුමයන් දැඩි අනතුරකට ලක්විය හැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.
එම එකමුතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, මෙම කාර්යාංශය පිහිටුවීම හරහා ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා විශේෂඥයන් වෙනුවට වෙනත් පාර්ශ්ව පත් කර ගැනීමට කටයුතු කරන බවත්, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන සහ සංරක්ෂණ කටයුතු මේ නිසා අනතුරේ වැටෙන බවත්ය. උතුරු පළාතේ ජනතාව සතුටු කිරීමට සහ ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම පියවර ගැනීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ වාර්තාවල කරුණු වෙනස් කිරීමට උත්සාහ කර ඇති බවට මීට පෙරද අනාවරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආණ්ඩුවේ මෙම යෝජිත ක්‍රියාමාර්ගයට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවද ඔහු අවධාරණය කර සිටී.














