තේ සඳහා නිසි වටිනාකමක් නොලැබීම සහ වගා පිරිවැය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තේ ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. වසර ගණනාවකින් තේ දලු මිල සාපේක්ෂව ඉහළ නොයාම සහ කාලගුණික ගැටලු මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
තේ වගාවට සාපේක්ෂව කුරුඳු වගාව සඳහා වැය වන පිරිවැය අඩු වීම සහ ඉන් වැඩි ආදායමක් ලබාගත හැකි වීම නිසා බොහෝ ගොවීන් තේ වගාවන් ඉවත් කර කුරුඳු වගාවට යොමු වෙමින් පවතියි. වෙළෙඳපොළේ අමු තේ දලු කිලෝවක මිල රුපියල් 220ත් 260ත් අතර පවතින පසුබිමක, කුරුඳු කිලෝවක මිල රුපියල් 5500ත් 6500ත් වැනි ඉහළ අගයක පවතියි. දෛනික කම්කරු වැටුප්, පොහොර සහ රසායනික ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා තේ වගාව පවත්වාගෙන යාම පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව වතු හිමියෝ පවසති. මෙරට තේ වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 31,000ක් පමණ වන අතර, තේ කර්මාන්තය සුරක්ෂිත කර ගැනීමට රජයේ කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අරුණ ද සිල්වා මහතා පෙන්වා දෙයි.














