එංගලන්තය පරාජය කරමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු, ආර්ජන්ටිනා ක්‍රීඩකයන් විසින් ෆෝක්ලන්ඩ් දූපත් පිළිබඳව දේශපාලනික අර්ථයක් සහිත බැනරයක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ඔවුන්ට ෆිෆා (FIFA) ආයතනයෙන් දඩ මුදලක් නියම වීමේ අවදානමක් මතුව තිබේ.
තරගය අවසන් වීමෙන් පසු ආර්ජන්ටිනා ක්‍රීඩකයන් “Las Malvinas son Argentinas” යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ජයග්‍රහණය සැමරූහ. මෙහි සිංහල අර්ථය වන්නේ “ෆෝක්ලන්ඩ් දූපත් ආර්ජන්ටිනාවට අයත්ය” යන්නයි. 1833 වසරේ සිට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින මෙම දූපත් සමූහය සම්බන්ධයෙන් 1982 වසරේදී එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර දින 74ක් පුරා පැවති යුද්ධයකින් දෙරටේම විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
ෆිෆා ආයතනයේ රෙගුලාසිවලට අනුව දේශපාලනික පණිවුඩ හෝ ක්‍රියාකාරකම් ක්‍රීඩා පිටිය තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් වේ. මීට පෙර 2014 වසරේදී ද ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම මෙවැනිම බැනරයක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ඔවුන්ට පවුම් 20,000ක දඩයක් නියම විය.
මෙම සිදුවීමට පෙර ආර්ජන්ටිනා පුහුණුකරු ලයනල් ස්කලෝනි ප්‍රකාශ කර තිබුණේ පාපන්දු සහ දේශපාලනය එකිනෙක පටලවා නොගත යුතු බවයි. කෙසේ වෙතත්, ආර්ජන්ටිනාවේ උප ජනාධිපති වික්ටෝරියා විලාරුයෙල් විසින් සමාජ මාධ්‍ය හරහා මෙම බැනරයට සහය පළ කරමින් දේශපාලනික ප්‍රකාශයක් නිකුත් කර තිබීම තත්ත්වය තවදුරටත් උණුසුම් කර ඇත. දෙරට අතර පවතින ඓතිහාසික අතීතය සහ ආතතීන් සැලකිල්ලට ගනිමින් මෙම තරගය දැඩි ආරක්ෂක රැකවල් මැද පවත්වා තිබුණි.
















