යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රාමනාදන් අර්චුනා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ඇති සුදුසුකම් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම අගෝස්තු 31 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) නියම කළේය.
අභියාචනාධිකරණයේ විනිසුරු මඬුල්ලක් නිසි ලෙස ස්ථාපිත නොවීම හේතුවෙන් මෙම පෙත්සම අද දිනයේදී නැවත විභාගය සඳහා නියම කෙරිණි. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම නඩුව හැකි ඉක්මනින් දින නියම කර ලැයිස්තුවේ ඉහළින්ම ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බලමින් විනිසුරු මහේන් ගොපල්ලව මහතා අගෝස්තු 31 වන දින පෙත්සම විභාගයට ගැනීමට නියෝග කර, එදින නඩු ලැයිස්තුවේ මුලින්ම කැඳවීමට උපදෙස් දුන්නේය.
සමාජ ක්‍රියාකාරික ඔෂධ හේරත් මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සම මගින්, ආචාර්ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු බවට ‘වෝ වරෙන්ටෝ’ (Quo Warranto) රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ රාමනාදන් අර්චුනා මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ රජයේ නිලධාරියෙකු බැවින්, ඔහු රජය සමඟ කොන්ත්‍රාත් සම්බන්ධතාවයක් ඇති අයෙකු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(e) වගන්තියට අනුව රජයේ කොන්ත්‍රාත් සම්බන්ධතා ඇති පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට බාධාවක් පවතින බව පෙත්සමේ සඳහන් වේ.
මෙම පෙත්සම වෙනුවෙන් නීතිඥ එන්.කේ. අශෝක් බරන් සහ ෂෙනාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඔෂධ හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි අතර, මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ සේනානි දයාරත්න සහ නිෂාදි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය.
















