ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) ඉදිරි වසර හතරක කාලසීමාව සඳහා නව සභාපතිවරයා ලෙස අසංග සෙනෙවිරත්න මහතා අද (25) තේරී පත් විය. අද පැවති තීරණාත්මක නිලවරණයේදී අපේක්ෂකයින් පස් දෙනෙකු අතර පැවති තරඟයෙන් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය.
මෙවර නිලවරණයේදී අසංග සෙනෙවිරත්න මහතා ඡන්ද 16ක් ලබා ගනිමින් සභාපති ධුරය තහවුරු කරගත් අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් සහ ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උපසභාපති ශිරන්ත පීරිස් යන මහත්වරුන් පරාජයට පත් විය.
අසංග සෙනෙවිරත්න මහතා දැනට ශ්‍රී ලංකා බේස් බෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ඔහු මීට පෙර ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ධුරය ඇතුළු ක්‍රීඩා පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තනතුරු රැසක් හොබවා ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි.
ඉදිරි වසර හතරක කාලසීමාව තුළ මෙරට ඔලිම්පික් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහෙයවීමේ වගකීම දැන් ඔහු සතු වේ.












