ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම සාකච්ඡා යළි ආරම්භ වනු ඇතැයි යන බලාපොරොත්තුවත් සමඟ ආසියානු කොටස් වෙළඳපොළ බදාදා දිනයේදී සති හයකට පසු ඉහළම අගය වාර්තා කළේය. වොෂින්ටන් බලධාරීන් සහ ඉරාන පාර්ශවය ඉදිරි දින දෙක ඇතුළත පාකිස්ථානයේදී යළි සාකච්ඡා මේසයට පැමිණීමට ඇති ඉඩකඩ පිළිබඳව පළ වූ වාර්තා මෙම සුබවාදී තත්ත්වයට ප්‍රධානතම හේතුව වී තිබේ. පසුගිය සති අන්තයේ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඉරාන වරායන් වෙත පැනවූ අවහිරතා හමුවේ වුවද, යළි රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹීමේ සලකුණු පෙනෙන්නට තිබීම ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට සමත් විය.
මෙම වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටුණු අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 9ට වඩා අඩු මට්ටමකට පැමිණ තිබීම විශේෂත්වයකි. එසේම අඛණ්ඩව දින හතක් පුරා අගය පහත වැටුණු ඇමරිකානු ඩොලරය ද මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබේ. මැදපෙළ පෙරදිග යුදමය නොසන්සුන්තාවය සමනය වීම ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයට සෘජුවම බලපාන බැවින්, මෙම සාකච්ඡා පිළිබඳව මුළු මහත් ලෝකයම දැඩි අවධානයෙන් පසුවෙයි.














