ආසියානු කලාපය දැඩි කාලගුණික අනතුරකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ‘නාරා’ සහ ‘සෞඩෙල්’ යන දරුණු සුළි කුණාටු යුගලය චීනය සහ ජපානය ඉලක්ක කරමින් දැඩි විනාශකාරී බලපෑම් එල්ල කර තිබේ. ‘නාරා’ කුණාටුව චීනයේ හයිනාන් දූපතට කඩා වැදීමත් සමඟ එරට දකුණු දිග ප්‍රදේශවලට ඇදහැලුණු මහා වර්ෂාපතනය හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර, ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම් අනතුරු ඇඟවීමේ සීමාව ඉක්මවා ගොස් ඇත. මෙම හදිසි ආපදා තත්ත්වය හමුවේ දස දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට දේශීය බලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබේ.
මේ අතරතුර ‘සෞඩෙල්’ සුළි කුණාටුව චීනයේ නැගෙනහිර වෙරළ තීරය සහ ෂෙජියැං මෙන්ම ෆුජියැන් පළාත් දෙසට වේගයෙන් ගමන් කරමින් පවතින අතර, එහි ප්‍රබල පෙරHඟවීම් මේ වන විටත් ජපානයේ ඔකිනාවා ප්‍රදේශයට දැඩි ලෙස බලපා ඇත. කුණාටුවත් සමඟ හමා ගිය දරුණු සුළං සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඔකිනාවා හි නිවාස 35,000කට ආසන්න සංඛ්‍යාවකට විදුලිබලය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති අතර, ප්‍රදේශය වෙත ක්‍රියාත්මක වූ අභ්‍යන්තර ගුවන් ගමන් 92ක් සම්පූර්ණ ලෙස අවලංගු කිරීමට ගුවන් සේවා බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම ව්‍යසනකාරී තත්ත්වය දෙරටේම සාමාන්‍ය ජනජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය දැඩි අර්බුදයකට ලක් කර ඇත.
ඉදිරි පැය කිහිපය තුළ මෙම කුණාටු යුගලයේ බලපෑම තවත් තීව්ර විය හැකි බවට කාලගුණ විද්‍යාත්මක අනාවැකි පළවීමත් සමඟ, කලාපීය රාජ්‍යයන් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටියි. හදිසි ආපදා කළමනාකරණ අංශ සහ ගැලවුම්කරුවන් උපරිම සූදානමක රඳවා ඇති අතර, ඉදිරි දිනවලදී ගමනාගමන ජාලය, බලශක්ති සැපයුම සහ කෘෂිකාර්මික ක්ෂේත්රයට සිදුවිය හැකි බලපෑම අතිමහත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ස්වභාවික විපත් හමුවේ කලාපීය සැපයුම් දාමයට සහ යටිතල පහසුකම් වලට එල්ල වී ඇති මෙම තර්ජනය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ කඩිනම් මැදිහත්වීම් අත්‍යවශ්‍ය වී තිබේ.














