27 April 2024
#දේශීය

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මස 2- 5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද (29) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් KenchiYokoyama මහතා ඊට අත්සන් තැබූ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මෙම සමුළුව සඳහා‍ සාමාජික රටවල නියෝජිතයන් 3000ත් 5000ත් අතර පිරිසක් සහභාගීවීමට නියමිත අතර ඊට මුදල් අමාත්‍යවරු, මහ බැංකු අධිපතිවරු ජාත්‍යන්තර බැංකු නියෝජිතවරු, සමාගම් විධායක නිලධාරීහු සහ මාධ්‍යවේදීහු ඇතුළත් වෙති.

මෙවර සමුළුවේ තේමාව “පශ්චාත් COVID – 19 ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම” වන අතර සමුළුව පැවැත්වෙන කාලය තුළ ද්විපාර්ශ්වික රැස්වීම්, කොට්ඨාස රැස්වීම් හා උප කලාපීය රැස්වීම් ද පැවැත්වේ.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවක් පවත්වන කලාපයේ දෙවැනි රට ශ්‍රී ලංකාව බව මුදල් අමාත්‍ය බැසිල් රාජපපක්ෂ මහතා පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *