දේශපාලනඥයන් සතු වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය නිසි ලෙස හෙළිදරව් කළ හැකිනම් ඒවා පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. සෑම දේශපාලනඥයෙකුම තමන් සතු සැබෑ වත්කම් සහ බැරකම් හෙළිදරව් කිරීම හරහා එම දේපළ සාධාරණ ලෙස උපයාගත් ඒවාද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
තම රජයේ සියලුම දේශපාලනඥයන් වත්කම් සහ බැරකම් හෙළිදරව් කර ඇති බවත්, ඕනෑම අයෙකුට වත්කම් තිබිය හැකි වුවද වැදගත් වන්නේ ඒවා උපයාගත් ආකාරය පිළිබඳ සාධාරණ ප්‍රකාශයක් තිබීම බවත් අමාත්‍යවරයා පැවසීය. යම් දේශපාලනඥයෙකුට තම වත්කම් උපයාගත් ආකාරය පැහැදිලි කිරීමට නොහැකි වන්නේ නම් එය බරපතල ප්‍රශ්නයක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනාත්මක පුවත් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වුණු අතර, එම චෝදනා එල්ල කළ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට එරෙහිව ලාල් කාන්ත මහතා දැනටමත් එන්තරවාසියක් යවා ඇති බව නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අමාත්‍යවරයා සූදානමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.













