27 April 2024
#දේශීය

ඇස්ට්‍රාසෙනෙකා ජපානයෙන් ශ්‍රී ලංකාවට … අද සිට එන්නත්කරණය ඇරඹෙයි – සෞඛ්‍ය අමාත්‍යංශය

කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් ඊයේ (31) දින පස්වරුවේ ජපානයේ නරිටා ගුවන්තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලංකා ගුවන්සේවයට අයත් UL 455 දරණ ගුවන් යානයෙන් දිවයිනට රැගෙන ආ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එන්නත් තොඟය භාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණ සිටි අතර, මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය “ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් බස්නාහිර පළාත තුල විශාල ජනතාවක් සිටියා. ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා හත්ලක්ෂ විසි අටදහස් හාරසිය හැටක (728,460) ප්‍රමාණයක් මෙරටට ලැබීම දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටි එම ජනතාවට මහත් අස්වැසිල්ලක් වෙනවා. ජපන් රජය විසින් මෙම එන්නත් මාත්‍රා ලබාදීමට කටයුතු කිරීම පිළිබද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මම රජය වෙනුවෙන් ස්තූතිය පුද කරනවා. එමෙන්ම මෙම එන්නත් ප්‍රමාණය ලබාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය සහ කොවැක්ස් පදනම විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඔවුන්ටත් මාගේ සහ රජයේ ස්තූතිය පුද කරනවා. බස්නාහිර පළාතේ හෙට දින (01) සිට මධ්‍යස්ථාන 20 කට වැඩි ප්‍රමාණයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ යුධ හමුදාව එක්ව මෙම එන්නත්කරණ වැඩපිළිවෙල දින 07 ක් පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා. එබැවින් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද (01) සිට ක්‍රියාත්මක කරන මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට අනුව අදාල එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණ එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස. නිවැරදිව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් මෙම රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මෙහි ඉතිරි මාත්‍රා කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලට ලබාදීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි සතියේදී තවත් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 727,380 ලැබීමට ද නියමිතය.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය මහේන්ද්‍ර ආනර්ල්ඩ් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් හොෂියායි චිහාරු යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *