27 April 2024
#දේශීය

කොළඹ ජේෂ්ඨ පුරවැසියන්ට AstraZeneca දෙවන මාත්‍රාව හෙට දිනයේ සිට

ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca)එන්නත් මාත්‍රා තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොළඹ මහ නගර සභාව වෙත ලබා දීම සිදුකර ඇත.

ඒ අනුව එම එන්නත්, හෙට (28) දිනයේ සිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් හට දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

ප්‍රධාන වශයෙන් මධ්‍යස්ථාන දෙකක මෙම එන්නත්කරණය සිදු කරනු ලබන අතර පළමු මධ්‍යස්ථානය උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සුගතදාස එළිමහන් ක්‍රිඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන පරිදි කිරුළපණ මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේ දී ද එන්නත් ලබාදීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ඔබ විසින් පළමු එන්නත ලබා ගැනීමේදී ලබාදුන් දුරකථන අංකය වෙත COVID VACCINE යනුවෙන් SMS පණිවිඩයක් මගින් දිනය, වේලාව සහ ස්ථානය ලැබෙනු ඇත. එන්නත්කරණයට පැමිණීමේදී එම SMS පණිවිඩය රැගෙන ඒම අත්‍යවශ්‍ය වන අතර එන්නත්කරණ කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අත්‍යවශ්‍ය වේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *