වර්තමාන රජයේ ප්‍රධාන ජාතික අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ සහ අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික වශයෙන් නගාසිටුවීමේ වගකීම පෙරදැරි කරගනිමින්, අස්වැසුම ප්‍රතිලාභීන් යැපුම් මානසිකත්වයෙන් මුදාහරිමින් සමාජීය හා ආර්ථික වශයෙන් සවිබලගැන්වීමේ පුළුල් වැඩපිළිවෙළක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබේ.
මෙම ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් “ප්‍රජා සවියට නව බලයක්” තේමාව යටතේ දිවයින පුරා සමෘද්ධි නිලධාරීන් 21,000ක පමණ පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, ග්‍රාමීය මට්ටමින් ජනතාව සතු සුවිශේෂී කුසලතා සහ විභවතාවන් වෘත්තීය මට්ටමට ඔප්නැංවීමත් සමඟ අනෙකුත් රාජ්‍ය ආයතන හා බැංකු පද්ධති සමඟ ඔවුන් ජාලගත කිරීමේ ක්‍රමවේදය අමාත්‍යාංශයේ මූලික අවධානයට ලක්ව ඇත.
රට තුළ පවතින සමෘද්ධි බැංකු 430ක්, බැංකු ශාඛා 1,097ක් සහ බැංකු සංගම් මූලස්ථාන 333ක් හරහා හිමි වී ඇති රුපියල් බිලියන 800කට අධික දැවැන්ත මූල්‍ය වත්කම් පදනම සහ මානව සම්පත උපයෝගී කරගනිමින්, මෙම සමෘද්ධි බැංකු පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීමට නියමිත අතර, මෙම ආයතනික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේ ඉදිරි වසර කිහිපය තුළ ග්‍රාමීය ආර්ථිකය අභියෝග ජයගත් ස්වයංපෝෂිත මට්ටමකට රැගෙන ඒමට අපේක්ෂා කෙරේ.














