අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (මැයි 16) දක්වා තවත් පැය 24කින් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ පවතින ජල මට්ටම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අදාළ මාර්ග භාවිතා කරන රියදුරන් සහ පහත් බිම්වල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු අතර, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට සූදානම්ව සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉදිරි පැය කිහිපය තුළ වර්ෂාපතනය තවදුරටත් පැවතුණහොත් ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ.














