ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් අර්ධ වශයෙන් ඉදිකර, වසර ගණනාවක් තිස්සේ අතරමඟ නවතා දමා ඇති අත්තිඩිය පොලිස් අභ්‍යාස ආයතනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (05) නිරත විය.
වර්ෂ 2001 දී රුපියල් මිලියන 329.7ක පිරිවැයක් දරමින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර මූලික පියවර අවසන් කර තිබුණ ද, 2008 වර්ෂයෙන් පසුව මෙහි ඉතිරි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ. කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියේ පුහුණු පාඨමාලා පැවැත්වීමට අවශ්‍ය ඉහළ විභවතාවයක් මෙම පරිශ්‍රය සතු බව අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළේය.
ඒ අනුව, මෙම ආයතනය ශ්‍රී ලංකා පොලිසියට අත්‍යාවශ්‍ය, ගුණාත්මක බවින් ඉහළ නවීන “පොලිස් විශ්වවිද්‍යාලයක්” (Police University) බවට පත්කිරීමේ ශක්‍යතාව පිළිබඳව වහාම සොයා බලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, වත්මන් අපරාධ රැල්ල මර්දනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට නූතන තාක්ෂණය සමඟ යාවත්කාලීන වූ ඉහළ පුහුණුවක් ලබාදීම යුගයේ අවශ්‍යතාවක් බවයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය (IT) සහ සයිබර් විමර්ශන කෙරෙහි අවධානය යොමු කරමින් ඊට සරිලන අධ්‍යයන පාඨමාලා මීට ඇතුළත් කළ යුතු බව ද ඔහු පැවසීය.
අත්හැර දමා ඇති මෙම මධ්‍යස්ථානයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැය මඟින් වෙන්කරවා ගැනීම ඇතුළු වැදගත් තීන්දු තීරණ රැසක් ඉදිරියේදී ගැනීමට නියමිතය. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















