මැදපෙළ පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා, ඕස්ට්‍රේලියාවට සිය ‘හරිත යකඩ’ (Green Iron) ව්‍යාපෘති කඩිනම් කිරීමට නව අවස්ථාවක් උදා කර දී තිබේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන ගැටුම්කාරී තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීම නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය හමුවේ සම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් මත යැපීම අවම කරමින්, පරිසර හිතකාමී බලශක්තිය යොදාගෙන වානේ නිෂ්පාදනයට අවශ්‍ය යකඩ නිපදවීමේ ව්‍යාපෘති සඳහා ඕස්ට්‍රේලියාවේ අවධානය යොමු වී තිබේ.
යකඩ නිස්සාරණය සහ වානේ නිෂ්පාදනය යනු ලොව වැඩිම කාබන් විමෝචනයක් සිදුවන කර්මාන්තයක් වන අතර, ඕස්ට්‍රේලියාව සිය විශාල යකඩ නිධි සහ පුනර්ජනනීය බලශක්ති හැකියාව යොදා ගනිමින් මෙම ක්‍රියාවලිය ‘හරිත’ මුහුණුවරකින් සිදු කිරීමට සැලසුම් කරයි. වර්තමාන ඉන්ධන අර්බුදය හමුවේ ලෝකයේ ප්‍රබල සමාගම් විකල්ප සහ තිරසාර නිෂ්පාදන ක්‍රමවේදයන් සොයමින් සිටීම, ඕස්ට්‍රේලියාවේ මෙම අභිලාෂයන්ට විශාල ශක්තියක් වී ඇත. විශේෂයෙන්ම Fortescue වැනි ප්‍රධාන සමාගම් මේ වන විටත් මෙම හරිත බලශක්ති විප්ලවය සඳහා පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටී.














