ඉරාන යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය මූල්‍ය වෙළඳපොළ දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක වුවද, පවතින ඕනෑම මූල්‍ය හෝ භූ දේශපාලනික කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව යුරෝපීය බැංකු සතු බව යුරෝපීය බැංකු අධිකාරියේ (EBA) නව ප්‍රධානී ෆ්‍රැන්ෂුවා-ලුවී මිෂෝ (François-Louis Michaud) අද (16) ප්‍රකාශ කළේය. බැංකු සතු ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව (Liquidity) ඉහළ මට්ටමක පැවතීම මීට හේතුව බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් එල්ල විය හැකි සයිබර් ප්‍රහාර පිළිබඳව බැංකු දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ඔහු අනතුරු අඟවයි. විශේෂයෙන්ම ‘Mythos’ වැනි දියුණු AI මාදිලි හරහා එල්ල විය හැකි සංකීර්ණ සයිබර් තර්ජන පිළිබඳව බැංකු සූදානමින් සිටිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. මැදපෙරදිග යුද්ධය නිසා ඇති වී තිබෙන භූ දේශපාලනික අවදානම් පිළිබඳව යුරෝපීය මහ බැංකුව පසුගියදා අනතුරු ඇඟවීමක් කර තිබූ අතර, මේ වසරේ ප්‍රමුඛතම බැංකු සම්බන්ධයෙන් විශේෂ ආතති පරීක්ෂණ (Stress Tests) පැවැත්වීමට ද සැලසුම් කර ඇත.














