මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ බලශක්ති සැපයුම් ජාලයේ ඔරොත්තු දීමේ හැකියාව (Resilience) ශක්තිමත් කිරීමටත්, ස්ථාවර වෙළඳ ගලායාමක් පවත්වා ගැනීමටත් ඔස්ට්‍රේලියාව සහ මැලේසියාව අද (16) ඒකාබද්ධ එකඟතාවයකට පැමිණියේය මැලේසියාවේ නිල සංචාරයක නිරත ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කෙරිණි
මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ සැපයුමට එල්ල වන බාධා පිළිබඳව දෙරටේම නායකයෝ සිය දැඩි කණගාටුව පළ කළහ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ පිරිපහදු මධ්‍යස්ථානයක හටගත් ගින්න හමුවේ දේශීය ඉන්ධන නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති පසුබිමක, අග්නිදිග ආසියාවේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවෙකු වන මැලේසියාව සමඟ මෙලෙස සබඳතා ශක්තිමත් කර ගැනීම ඔස්ට්‍රේලියාවට ඉතා තීරණාත්මක වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති














