බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයට ඔබ්බෙන් දිය යට මසුන් ඇල්ලීමේ (spearfishing) යෙදී සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු මෝර ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි එරට පොලිසිය පවසයි. පසුගිය සති තුනක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ වාර්තා වූ තුන්වන මාරාන්තික මෝර ප්‍රහාරය මෙය වේ.
පර්ත් නගරයේ සිට කිලෝමීටර් 388ක් දකුණින් පිහිටි ඇල්බනි නගරයට ආසන්න මයිකල්මාස් දූපත අසලදී මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර, අදාළ පුද්ගලයා සිය පවුලේ සාමාජිකයන් සමඟ මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු වහාම ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර ලබා දුන්නද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.
ප්‍රහාරය සිදු වූ ස්ථානය අසල මීටර් 4.5ක පමණ දිගැති මෝරෙකු දර්ශනය වී ඇති බව බලධාරීන් පවසයි. පසුගිය මැයි 24 වන දින ග්‍රේට් බැරියර් රීෆ්හිදී මසුන් ඇල්ලීමේ නිරත වූ 39 හැවිරිදි පුද්ගලයෙකු සහ ඊට දින 10කට පෙර පර්ත් නගරය අසල දූපතකදී 38 හැවිරිදි පුද්ගලයෙකු ද මෝර ප්‍රහාරවලින් මියගියහ.
ඕස්ට්‍රේලියාවේ වසරකට මෝර ප්‍රහාර 20ක් පමණ වාර්තා වුවද ඉන් බොහොමයක් මාරාන්තික නොවන බව සංරක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙයි. එරට වෙරළ තීරයන්හි සිදුවන දියේ ගිලීම් සිදුවීම් සංඛ්‍යාව මෝර ප්‍රහාරවලට වඩා බෙහෙවින් වැඩි බව ද වාර්තා වේ.
















