මෙරට සාහිත්‍ය හා සංස්කෘතික කලාව නව මානයකට රැගෙන යමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම එක හා සමාන ඉඩක් වෙන් කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ත්‍රිභාෂා සාහිත්‍ය උළෙල වන **”Colombo Literary Festival 2026″** කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් (Arcade Independence Square) පරිශ්‍රයේදී ඊයේ (24) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඉන්දීය ප්‍රකට දේශපාලනඥයෙකු සහ ලේඛකයෙකු වන ආචාර්ය ශෂී තරූර්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන්ගේ සහ උළෙල අධ්‍යක්ෂ ප්‍රදීප් සමරනායක මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කෙරිණි. ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන 5 ක් එකතුවී Colombo Literary Festival (Pvt) Ltd ආයතනය මගින් මෙම උළෙල සංවිධානය කර ඇත.
ජූලි 24 සිට 29 දක්වා සෑම දිනකම උදේ 9:00 සිට රාත්‍රී 9:00 දක්වා පැවැත්වෙන මෙම උළෙල තුළ දේශීය හා ජාත්‍යන්තර ලේඛකයන්, කවියන් සහ විචාරකයන්ට භාෂා භේදයකින් තොරව සහභාගී වීමට අවස්ථාව සලසා දී ඇත. රටක අනන්‍යතාවය තහවුරු කිරීමට සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් මෙවැනි ප්‍රවේශයක් ගැනීම මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.














