“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තිය යටතේ, වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා බදුල්ල, පස්සර කනවරැල්ල ප්‍රදේශයේ නව නිවාස 57ක් ඉදිකිරීමට මුල්ගල් තැබිණි. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ඉන්දීය කොන්සල් ජෙනරාල් හර්වින්ද්‍රර් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සංවිධානය කර තිබුණි.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ 2014 වසරේ සිට, එනම් වසර 12ක් තිස්සේ දැඩි නායයෑම් අවදානමකට ලක්ව අසීරු තත්ත්වයන් යටතේ ජීවත් වූ පවුල් 57ක් වෙනුවෙන් මෙම ආරක්ෂිත නිවාස හිමිවීමයි. ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක නිවාස 10,000 ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ මෙම කටයුතු සිදුකෙරේ.
මෙහිදී එක් නිවසක් සඳහා ඉන්දීය රජයෙන් රුපියල් ලක්ෂ 28ක මුදලක් වෙන් කෙරෙන අතර, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 4ක මුදලක් ලබාදෙයි. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් එක් නිවසකට ලක්ෂ 32ක ප්‍රතිපාදන හිමිවේ.
“නිවසක් කියන්නේ බිත්ති හතරක් විතරක් නෙවෙයි, එය පවුලක සුරක්ෂිතභාවය සහ ගෞරවයයි. වැවිලි ප්‍රජාවට ගෞරවනීය ජීවිතයක් දීමට වත්මන් රජය අඛණ්ඩව කැපවෙනවා” යැයි මෙහිදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















