සිය භාරයේ සිටි අසාධ්‍ය රෝගීන් 15 දෙනෙකු ඉතා අමානුෂික ලෙස ඡේදනය කරමින් ඝාතනය කිරීමේ වරදකරු වූ 41 හැවිරිදි ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයෙකුට (Johannes M.) එරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
2021 සැප්තැම්බර් මාසයේ සිට 2024 ජූලි මාසය දක්වා කාලය තුළ වයස අවුරුදු 25ත් 94ත් අතර පසු වූ කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු මොහුගේ ගොදුරු බවට පත්ව ඇති බව වසරක් පුරා ඇදී ගිය දීර්ඝ නඩු විභාගයේදී සාක්ෂි සහිතව ඔප්පු වී ඇත.
රහසින් නිවෙස්වලට වැදී දුන් මාරාන්තික එන්නත්
මෙම වෛද්‍යවරයා රෝගීන්ගේ නිවෙස් වෙත ගොස්, ඔවුන්ගේ හෝ පවුලේ අයගේ කිසිදු කැමැත්තකින් තොරව විවිධ මාරාන්තික ඖෂධ සංයෝග ශරීරගත කරමින් මෙම ඝාතන සිදුකර තිබේ. වින්දිතයන් බරපතළ රෝගාබාධවලින් පෙළුණද, ඔවුන්ගේ මරණය ආසන්නව තිබූ ඒවා නොවන බවත්, ඔවුන්ට තවදුරටත් ජීවත් වීමේ දැඩි වුවමනාවක් තිබූ බවත් අධිකරණයේදී අනාවරණය විය. වඩාත්ම බිහිසුණු කරුණ නම්, ඇතැම් අවස්ථාවලදී සිරුරු සහ තමන් කළ අපරාධයේ සාක්ෂි වසන් කිරීම සඳහා මොහු රෝගීන්ගේ නිවෙස්වලටම ගිනි තැබීමට ද උත්සාහ කර තිබීමයි.
76ක් ගැන තවමත් පරීක්ෂණ – ජර්මන් ඉතිහාසයම කැළඹෙයි!
වෛද්‍යවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ, “මම හිතුවේ මම කරන්නේ නිවැරදි දේ කියලා. ඔවුන්ව රෝග පීඩාවලින් සහ දුක්විඳීමෙන් මුදවා ගැනීම හැමෝටම හොඳම දේ කියලා මම මාවම රවටා ගත්තා” යනුවෙනි.
කෙසේ වෙතත්, බලධාරීන් පෙන්වා දෙන්නේ මෙය මෙම මහා පරිමාණ අපරාධ වැලක ආරම්භය පමණක් විය හැකි බවයි. මොහු සම්බන්ධ තවත් සැකකටයුතු මරණ 76ක් පිළිබඳව පැමිණිල්ල මේ වන විටත් විශේෂ විමර්ශන පවත්වන අතර, ඒවාද ඔප්පු වුවහොත් මෙය ජර්මානු ඉතිහාසයේ දරුණුතම අනුක්‍රමික මිනීමැරුම් (Serial Murders) සිදුවීම බවට පත්වනු ඇත.
සියලු කරුණු සලකා බැලූ අධිකරණය, මොහුගේ වෛද්‍ය වෘත්තිය සදහටම තහනම් කළ අතර සිරදඬුවම් කාලයෙන් පසුවද ඔහුව දැඩි ආරක්ෂිත රැකවරණ යටතේ රඳවා තැබීමට නියෝග කළේය.
















