බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූනාගල කබරගල කන්ද නායයෑම හේතුවෙන් අවතැන් වී, වසා දමා තිබූ තේ කර්මාන්ත ශාලාවක වසර තුනහමාරක කාලයක් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කළ පවුල් 50ක් සඳහා ඉදිකළ “නවෝදාගම” නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 28 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
2023 මාර්තු මාසයේ සිදු වූ නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් එදා සිටම අවම පහසුකම්වත් නොමැතිව එම තේ කර්මාන්ත ශාලාව තුළ දිවි ගෙවූ අතර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ වත්මන් රජය විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ඇත. සෑම පවුලකටම පර්චස් 10 ක ඉඩමක් සමඟින් නිදන කාමර දෙකකින්, සාලයකින්, මුළුතැන්ගෙයකින් සහ නාන කාමරයකින් සමන්විත වර්ග අඩි 550 ක අංගසම්පූර්ණ නිවසක් මෙහිදී හිමි වන අතර, නිවාස ලබා දීමට අමතරව එම ජනතාවට නව ජීවිතයක් ඇරඹීම සඳහා අවශ්‍ය ගෘහ උපකරණ, මුළුතැන්ගෙයි ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් සහ දරුවන්ගේ පාසල් උපකරණ ද නොමිලේ ලබා දීමට කටයුතු යොදා තිබේ.
















