විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ලංකා වාණිජ මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝඡන සමුළුව 2026’ සම්බන්ධයෙන් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ හා ආයෝඡන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයේ ඇති වැදගත්කම මෙහිදී අවධාරණය කර ඇති අතර, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී ඇත. මෙරට තුළ විදේශීය සෘජු ආයෝඡන (FDI) සඳහා පවතින නැගී එන අවස්ථා පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරමින්, ජාත්‍යන්තර සහභාගිත්වය සහ ආයෝඡන ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
















