බදුල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ යටතේ ප්‍රධාන සංචාරක කලාප 10ක් තෝරාගෙන ඇති බවත් ඌව පළාත් සංචාරක දෙපාර්තමේන්තුව පවසයි. පාරසරික හා දේශගුණික සංවේදී කලාප ලෙස හඳුනාගනිමින්, සංචාරකයින්ට උසස් අත්දැකීමක් ලබාදීමේ මධ්‍යකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර, සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනු කමිටු රැස්වීමේදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
2026 වර්ෂය සඳහා ඌව පළාතේ සංචාරක සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 320.6ක ප්‍රතිපාදන වෙන්කර තිබේ. ඒ යටතේ වැල්ලවාය, ඇල්ලේපොළ, කිතල්ඇල්ල, අරදුනු ඇල්ල, ගැරඬිය ඇල්ල, පරවියන් ඇල්ල, බිබිලේගම සහ සීලෝන් බංගලාව ආදී ස්ථානයන්හි මාර්ග සංවර්ධනය කෙරේ. එමෙන්ම දුන්හිඳ ඇල්ල නැරඹුම් වේදිකාව ප්‍රතිසංස්කරණය කිරීම, කටුපිළ වැව සංවර්ධනය සහ ඇල්ල නගරයේ වීදි ලාම්පු සවිකිරීමටද පියවර ගෙන ඇත.
මීට අමතරව රුපියල් මිලියන 139.77ක පිරිවැයකින් ඌව පරණගම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර, පාසල් හැරගිය තරුණ පිරිස් සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හරහා හෝටල් පාඨමාලා පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ නව යෝජනා ඉදිරිපත් කිරීමද මෙම සාකච්ඡාවේදී සිදුවිය.














