අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති සිදුවීම් මාලාව පිළිබඳව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ. උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ අටමස්ථානාධිපති හිමියන් මේ වන තෙක් මෙරට කිසිදු නිල අධිකරණයකින් වැරදිකරුවකු බවට පත්ව නොමැති පසුබිමක, රටේ පවතින නීතිමය ක්‍රියාවලිය අභිබවා යමින් විවිධ සමාජ මාධ්‍ය පිටු (Social Media) මඟින් උන්වහන්සේව දැනටමත් වැරදිකරුවකු කර අවසන් කර ඇති බවයි.
මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ බලංගොඩ කස්සප හිමියන් කියා සිටියේ, යම් හෙයකින් අදාළ පාර්ශවයන් අතින් කිසියම් ආකාරයක දූෂණයක් හෝ වරදක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් රටේ පොදු නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් සිදු නොවිය යුතු බව තමන් වහන්සේද පිළිගන්නා බවයි. එනමුත් සාධාරණ නීතිමය පරීක්ෂණයකින් වරදකරු වීමට පෙර පුද්ගලයන්ගේ චරිත ඝාතනය වන අන්දමින් සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳව උන්වහන්සේ සිය කනස්සල්ල පළ කළහ.
මීට ඇති එකම සහ ස්ථාවර විසඳුම භික්ෂූන් වහන්සේලා ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම විනයට අනුව භික්ෂූන් වහන්සේලාගේ ගැටලු විසඳා ගැනීම බව උන්වහන්සේ පෙන්වා දෙති. ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය යටතේ නිල වශයෙන් “සංඝාධිකරණ” පිහිටුවීමට පූර්ණ ප්‍රතිපාදන සහ හැකියාව පවතින බව සිහිපත් කළ කස්සප හිමියන්, එලෙස සංඝාධිකරණ පිහිටුවීමට අවශ්‍ය නීතිමය කෙටුම්පත් සහ ප්‍රතිපාදන සම්පාදනය කිරීමට මෙරට පාර්ලිමේන්තුව මෙතෙක් පියවර ගෙන නොමැති වීම විශාල අඩුවක් බවද වැඩිදුරටත් අවධාරණය කළහ.













