බණ්ඩාරවෙල, ඇටම්පිටිය පාරේ පිහිටි ඖෂධ සැපයුම් ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද වැටලීමකදී කල් ඉකුත් වූ, තොරතුරු රහිත සහ මිල වෙනස් කරන ලද ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් දස ලක්ෂය ඉක්මවන බව සඳහන්ය.
අස්ථිරෝග සහ වෛද්‍ය ආධාරක උපකරණ මෙන්ම ප්‍රතිජීවක සහ අසාත්මිකතා සඳහා වන ඖෂධ ඇතුළු පෙති, කරල් සහ දියර ඖෂධ වර්ග 1,200කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී සොයාගෙන ඇත. විශේෂයෙන්ම, ප්‍රමුඛ පෙළේ ඖෂධ ආනයන සමාගමකට අයත් හිස් ලේබල් ස්ටිකර් තොගයක්ද මෙම ස්ථානයේ තිබී සොයාගෙන ඇති අතර, නීතිවිරෝධී ලෙස ලේබල් හා මිල ගණන් වෙනස් කිරීමේ ජාවාරමක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව පාරිභෝගික අධිකාරිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී. විමර්ශන අවසන් වූ පසු සැකකරුවන්ට එරෙහිව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.














