දැනටමත් සරම්ප වසංගතය හමුවේ දැඩි අභියෝගයකට ලක්වී ඇති බංග්ලාදේශයේ දරුණු ඩෙංගු වසංගත තත්ත්වයක අවදානමක් මතු වී ඇති බව වාර්තා වේ.
එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඊයේ උදෑසනින් අවසන් වූ පැය 24 ඇතුළත රට පුරා ඩෙංගු රෝගීන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර නව රෝගීන් 1,608 දෙනකු වාර්තා වී ඇති බවයි. මේ වසරේ මේ දක්වා රට තුළ සිදුවූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2000 වසරේ එරට පළමු ඩෙංගු ව්‍යාප්තියෙන් පසු වාර්තා වූ ඉහළම සිව්වැනි වාර්ෂික මරණ සංඛ්‍යාව බව ‘ඩේලි ස්ටාර්’ පුවත් සේවය වාර්තා කරයි. මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට රෝහල්ගත කර ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,369ක් වන අතර, ඉදිරි දිනවල පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් රෝගය පැතිරී යෑමේ අවදානම තවදුරටත් පවතින බව වෛද්‍යවරු අනතුරු අඟවති.














