බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් අවතැන් වන අනවසර පදිංචිකරුවන් සඳහා නිවාස ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වන පවුල් සඳහා නිවාස ලබා දීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශ මත පදනම්ව, දැනටමත් පවුල් ඒකක 29ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ‘සරසවි උයන’ නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස ලබා දී තිබේ.
කෙසේ වෙතත්, ඉඩම් අත්පත් කර ගන්නා අවස්ථාවේදී පවතින සුවිශේෂී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් තවදුරටත් සහන ලබා දීමට කමිටුව තීරණය කර ඇත. අහිමි වන නිවසේ වර්ග ප්‍රමාණයට සාපේක්ෂව ලබා දෙන නව නිවසේ වර්ග ප්‍රමාණය වැඩි වීම, එකම ගෘහයක අනු පවුල් කිහිපයක් ජීවත් වීම සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සිටීම වැනි කරුණු පදනම් කරගෙන, මීට පෙර නිවාස ලබා දුන් පවුල් ඒකක 29ට අමතරව තවත් පදිංචිකරුවන් 8 දෙනෙකු සඳහා නිවාස ලබා දීමට එම කමිටුව නිර්දේශ කර තිබේ.
අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
















