සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.
මෙම නඩුව අද අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණු අතර, 2014 වර්ෂයේදී රුපියල් මිලියන 7.8ක මුදලක් සංචාරක ප්‍රවර්ධන කටයුතු වෙනුවට ඌව පළාත් සභා මැතිවරණය සඳහා ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය කිරීමට යොදා ගනිමින් රජයට පාඩුවක් සිදු කිරීම මෙම සිද්ධියට අදාළ වේ.
මීට අමතරව, මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද තහනම් කෙරිණි. සිද්ධියේ දෙවන සැකකරු වන හිටපු සභාපති භාෂ්වර ගුණවර්ධන මහතා ද මීට පෙර ඇප මත මුදා හැර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන අතර, ඉදිරි නඩු විභාගය ඔක්තෝබර් 14 වන දිනට යළි කැඳවීමට නියමිතය.
















