හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නැවත කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මාතර, එළියකන්ද පාරේ බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවරා ඇති නඩුවට පසුගිය මැයි මස 22 වන දින බැසිල් රාජපක්ෂ මහතා පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කෙරිණි. එම අවස්ථාවේදී ඔහු අසනීප තත්ත්වයෙන් විදේශගතව ප්‍රතිකාර ලබන බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබූ අතර, අද දින ඔහුගේ නීතිඥවරුන් මෝසමක් ගොනු කරමින් සෞඛ්‍ය තත්ත්වය සලකා වරෙන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා සිටියද, සැකකරු දිගින් දිගටම අධිකරණය මගහරිමින් සිටින බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී ඔහු නොමැතිව වරෙන්තුව නැවත කැඳවීමට නීතිමය හැකියාවක් නොමැති බව අවධාරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි වරෙන්තුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.
















